කඩඉම් ලකුණු අසාධාරණ බව කියමින් සිසු සිසුවියෝ විරෝධතාවක   


 
(අනීෂා මානගේ)

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ 2019 වර්ෂයේ කඩඉම් ලකුණු අනුව පැරැණි නිර්දේශය යටතේ විභාගයට මුහුණ දුන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අසාධාරණයක් සිදුව ඇතැයි කියමින් අද(9) තංගල්ල මධ්‍යම බස් නැවතුම්පොළ ඉදිරියේදී විරෝධතාවක් පැවැත්විණි.

මෙම විරෝධතාව නිදහස් අධ්‍යාපනය සඳහා උදෙසා සිසු - ජන ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබූ අතර පසුගිය වර්ෂයේදී උසස්පෙළ විභාගයට පැරැණි නිර්දේශය යටතේ ඉදිරිපත් වී විශ්ව විද්‍යාල වරම් අහිමි වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ඔවුන්ගේ දෙමාපියන් මෙම විරෝධතාවට එක්වූහ.

පසුගිය වර්ෂයේදී අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයට පැරැණි නිර්දේශය යටතේ පෙනී සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කඩඉම් ලකුණු අනුව අසාධාරණයක් සිදුව ඇතැයි විරෝධතාකරුවෝ කියති. තංගල්ල බස් මධ්‍යම බස් නැවතුම්පොළ ඉදිරිපිට විරෝධතා පුවරු අතැතිව සටන් පාඨ කියමින් මොවුහු විරෝධතාවයේ නිරත වූහ.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිතයකු වන වසන්ත මුදලිගේ පැවසූයේ, පැරැණි සහ නව විශය නිර්දේශ දෙකක් යටතේ පසුගිය 2019 වර්ෂයේදී උසස්පෙළ විභාගයට ශිෂ්‍ය ශිෂ්‍යාවන් පෙනී සිටි අතර එක් එක් විෂය ධාරාවලින් විශ්ව විද්‍යාලවලට බඳවා ගන්නා ළමයි ප්‍රමාණය ගැන රජයෙන් දැනුම් නොදුන් බවද එසේ තිබියදී විෂය ධාරා දෙකටම සමාන කඩයිම් ලකුණු ලබා දී ඇති බවයි. ගත හැකි ඉහළම ප්‍රථිඵල ලබාගෙන ඉහළ ඉසෙඩ් අගයක් ලබා ගත්තද විශ්ව විද්‍යාල වරම් අහිමි වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිටින බව ද ඔවුන් සියලු දෙනාම විශ්ව විද්‍යාලවලට ඇතුළු කරගන්නා ලෙසයි. 

තවද විශ්ව විද්‍යාලවලට ඇතුළු කරගන්නා ශිෂ්‍ය ප්‍රමාණය දෙගුණ කරන ලෙස ද විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.